දශක ගණනාවක් පුරා තාරකා විද්‍යාඥයන් විශ්වය පුරා ජීවය පිළිබඳ සලකුණු සෙව්වත් කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. නමුත් ඩේලි මේල් පුවත්පතට අදහස් දක්වමින් උට්‍රෙච්ට් විශ්වවිද්‍යාලයේ සහ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ඇස්ට්‍රෝබයෝලොජිස්ට්වරියක වන මහාචාර්ය ඉංගේ ලෝස් ටෙන් කේට් (Inge Loes ten Kate) පවසන්නේ පිටසක්වල ජීවීන් සිටිය හැකි නමුත්, අපට එම සාක්ෂි මඟහැරී, නොසලකා හැරී හෝ වටහාගැනීමට නොහැකි වී ඇති බවයි.

නnature astronomy සඟරාවේ පළ වූ මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පෘථිවියෙන් පිටත ජීවය සෙවීමේදී 'අසත්‍ය ඍණාත්මක' (false negatives) තත්ත්වයන් බලපා ඇති බවයි. එනම් ජීවය පැවැත්ම පිළිබඳ සාක්ෂි තිබුණද, තාක්ෂණික මෙවලම්වල පවතින අඩුපාඩු හෝ විද්‍යාඥයන්ගේ පූර්ව නිගමන හේතුවෙන් ඒවා ජීවය ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමයි.

අසත්‍ය ඍණාත්මක දත්තවල අවදානම

අභ්‍යවකාශ ජීව විද්‍යාවේදී (Astrobiology) සාමාන්‍යයෙන් අවධානය යොමු වන්නේ ජීවය නොමැති තැනක ජීවය ඇති බවට වැරදීමකින් නිගමනය කිරීමේ 'අසත්‍ය ධනාත්මක' (false positives) අවදානම වැළැක්වීමටයි. මන්ද යත්, නොමේරූ ලෙස ජීවය සොයාගත් බව ප්‍රකාශ කිරීමෙන් විද්‍යාව කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට මෙන්ම අනාගත පර්යේෂණ සඳහා ලැබෙන ප්‍රතිපාදන අවහිර වීමට ඉඩ තිබීමයි. මේ නිසා 'අසත්‍ය ඍණාත්මක' දත්ත කෙරෙහි අවධානය යොමු නොවීමෙන් මහත් අඩුපාඩුවක් සිදු වී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මහාචාර්ය ටෙන් කේට් පවසන්නේ යම් වායුවක් හෝ ඛනිජයක් දුටු විට එය "නිකම්ම ඛනිජයක්" හෝ "ජීවයෙන් නිපදවුණු නැති වායුවක්" ලෙස විද්‍යාඥයන් වැරදියට තේරුම් ගන්නා බවයි. පෘථිවියේ පවා ඇන්ටාක්ටිකාවේ ඩ්‍රයි වැලීස් (Dry Valleys) හි පාෂාණ යට ඇති ක්ෂුද්‍ර ජීවීන් වැනි භූගත ජීවීන් සහ ගැඹුරු මුහුදු පතුලේ ඇති පරිසර පද්ධති හඳුනා ගැනීමට වත්මන් ක්‍රමවේද අසමත් වේ.

අඟහරු ග්‍රහයාගේ අතීත පරීක්ෂණ සහ නව සාක්ෂි

මහාචාර්ය ටෙන් කේට් අඟහරු ග්‍රහයා ආශ්‍රිතව නැවත පරීක්ෂා කළ යුතු අසත්‍ය ඍණාත්මක අවස්ථා දෙකක් පෙන්වා දෙයි:

  • 1976 වසරේ නාසා ආයතනයේ වයිකිං (Viking) ජීව විද්‍යා පරීක්ෂණය: අඟහරු පසෙහි ජෛව අණු නොමැති බව එකල නිගමනය කළද, පසෙහි පර්ක්ලෝරේට් (perchlorate) නම් ලවණය පැවතීම නිසා එම පරීක්ෂණ දත්ත වෙනස් වී ඇති බව දැන් හෙළි වී තිබේ.
  • පර්සවිරියන්ස් (Perseverance) රෝවරය මගින් සොයාගත් ඛනිජ සංඥා: 'ලෙපර්ඩ් ස්පොට්ස්' (leopard spots) සහ 'පොපි සීඩ්ස්' (poppy seeds) ලෙස හඳුන්වන යකඩ සහිත ඛනිජ වලලු පෘථිවියේදී සාමාන්‍යයෙන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි මගින් නිර්මාණය වේ. නමුත් අඟහරු මත මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට තවමත් නොහැකි වී ඇත.

නාසා ආයතනයේ විද්‍යා අයවැය කපා හැරීම හේතුවෙන්, අඟහරු මත පස් සාම්පල පෘථිවියට ගෙන ඒමේ සාම්පල ආපසු එවන මෙහෙයුම (Sample Return Mission) සිදුකිරීම අවිනිශ්චිත වී ඇතත්, පෘථිවියේ ඇති ලොව දියුණුම රසායනාගාරවල පරීක්ෂණ කිරීමෙන් මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබාගත හැකි බව මහාචාර්යවරිය අවධාරණය කරයි.